කළුතර පුරවර
කළුතර වූ කලී ශ්‍රී ලංකාවේ නිරිත දිග වෙරළ තීරයේ පිහිටි නගර අතරින් ඉතා දීර්ඝ ඓතිහාසික පසුබිමක් ඇති සුන්දර නගරයකි. ඒ සුන්දරත්වය වඩාත් ඔප්නැංවී තිබුණේ සයුර සිප ගැනීමට පැමිණෙන කළු තදියත් , කිලෝමීටරයක් පමණ දුරට පැතිර ගිය කලපුවත්, පාලම් දෙක යා කරමින් ගඟ මැද පිහිටි දූපතත් නිසාය. (එහෙත් පසු ගිය ගංවතුර තත්ත්වය හේතු කොට ගෙන මෙම කලපුවේ සුන්දරත්වය අඩු වී ඇත). වම් ඉවුරේ පිහිටි බෝධි පූජා භූමිය සහ උඩ මළුවෙන් ඉහළට නැඟුන වටදාගෙය කළුතර නගරයේ සිරිය තව තවත් වර්ණවත් කරයි. අතීතයේ දී කළුතර තොටුපලක් තිබී ඇත. එම නිසා ඒ ආශ්‍රිත ප්‍ර දේශය “කළුතොට ” වී පසුව “කළුතර ” බවට පත්ව ඇති බව ඉතිහාස පොත පතෙහි සඳහන්ය.
ශ්‍රී ලංකාවේ අගනගරය වන කොළඹට කි.මී 40 ක් පමණ දකුණින් කළුතර නගරය පිහිටා ඇත. එ මෙන්ම එය අර්ධ නාගරික,මධ්‍යම සාක්ෂරතාවයකින් යුතු නගරයකි. මෙය එක් වැදගත් කුළුබඩු වෙළඳ මධ්‍යස්ථානයක් වන අතර එහි නම සෑදී ඇත්තේ කළු ගඟ යන වචනය ආශ්‍රයෙනි. එකොළොස්වන ශත වර්ෂයේදී දකුණු ඉන්දීය කුමරාගේ අණ පරිදි මෙම නගරය තාවකාලිකව අගනගරය බවට පත්විය. මෙම කලාපයේ පෙරදී පොල් වගා කරන ලද අතර අස්වැන්න අභ්‍යන්තර හා බාහිර වෙළඳාම සඳහා යොදා ගන්නා ලදී. එසේම පාලන කටයුතු සඳහා පෘතුගීසීන්, ලන්දේසීන් හා ඉංග්‍රීසීන් අතීතයේ සිටම බලකොටු සෑදීම නිසාද මෙම ප්‍රදේශය ප්‍රසිද්ධියට පත්වී ඇත.
මීටර 38 ක් දිග කළුතර පාලම කළුගං මෝය අසළ පිහිටා ඇති අතර එය රටේ බස්නාහිර හා දකුණු සීමා යා කරන ප්‍රධානතම සම්බන්ධතාවය වේ. එසේම මෙය ශ්‍රී ලංකාවේ පළමු කොන්ක්‍රීට් පාලමද වෙයි.
අපේ වංශ කතාවල කළුතර ප්‍රදේශය ගැන සඳහන් වන්නේ අල්ප වශයෙනි. එහෙත් දියගම ඇලමෝදර ප්‍රදේශයේ කළු ගඟ ආසන්නයේ පිහිටි , ක්‍රිස්තු වර්ෂ පළමු සියවස ට හෝ ක්‍රිස්තු වර්ෂ පළමුවන සියවසට අයත් කාල නිර්ණය කල හැකි ගිරි ලිපිය කළුතර පෙදෙසේ ජනාවාස පිහිටා තිබූ බවට සාධකයකි.
මෙම දියගම ගිරි ලිපිය, ගල් පර්වතයක් මුදුනේ කොටන ලද පේළි හතරකින් යුක්ත වූවකි. මේ පිළිබඳ පළමු අධ්‍යයනය සිදු කර ඇත්තේ ඉංග්‍රීසි පාලන සමයෙහි විසූ එඩ්වඩ් මුලර් නම් පුරා විද්‍යාඥයකු විසිනි. ඔහු 1883 වර්ෂයේදී තම Ancient Inscription in Ceylon නම් කෘතියෙහි මේ පිළිබඳව සටහනක් තබා ඇත. එහිදී ඔහු සඳහන් කර ඇති පරිදි අතිපූජ්‍ය වස්කඩුවේ සුභූති හිමියන්ගේ උපකාරයෙන් මෙම ලිපිය සොයාගත් බවයි.
ඉන් කියැවෙන්නේ නම් කරන ලද පුද්ගලයින් කිහිප දෙනෙකුට අයත් තොටුපලක් සහ කුඹුරු “මහා කාළ මහා විහාරය” වෙත පුද කරන ලද වගයි. මෙහි “කලනිය” නම් වෙළඳ මධ්‍යස්ථානයක් ගැන කියැවේ. එකල කළුතර ප්‍රදේශයේ වෙළඳාම හා කෘෂි ආර්ථිකය දියුණු තත්ත්වයක පැවැති බව ඉන් ඇඟවේ.
(මූලාශ්‍ර – කළුතර දිස්ත්‍රික් ආගමික හා සංස්කෘතික ග්‍රන්ථය ; කළුතර සිරිසර )
සංචාරක ආකර්ශන
- කළුතර බෝධිය– වර්ෂ 2320 කටත් වඩා ඉපැරණි මෙම බෝධීන් වහන්සේ ලෝකයේ පැරණිතම ලේඛනගත වෘක්‍ෂය වන ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ දෙවන අංකුර පෙළට අයත් වේ. බෝධි වංශය සඳහන් කරන පරිදි කළුතර බෝධි පරිශ්‍රයේ උඩ මළුවේ වැඩ සිටින්නේ එම දෙතිස් ඵලරුක බෝධීන් වහන්සේයි.
- කළුතර විහාරය– කළුතර පාලමේ දකුණු අන්තයේ මහල් 3 ක් උස බෞද්ධ පන්සලක් වන කළුතර විහාරය පිහිටා තිබෙන අතර, 1960 දී සාදන ලද එය ලෝකයේ ඇතුළත කුහරයක් සහිත එකම විහාරය වේ.
- කළුතර බලකොටුව– කළුතර පිහිටි බලකොටුව 1622 වර්ෂයේදී පෘතුගීසීන් විසින් ඉදිකරන ලද්දකි. වර්ථමානයේ මෙම බලකොටුව දැකගත නොහැකි වේ.
- රිච්මන්ඩ් කාසල්– 1896 වර්ෂයේ ඉදිකරන ලද මහල් දෙකකින් යුතු මැදුරකි.
බ්‍රිතාන්‍ය යටත්විජිත සමයේ ශ්‍රී ලංකාවේ සිටි මහමුදලිවරයෙකු වූ එන්. ඩී. ආතර් ද සිල්වා විජේසිංහ සිරිවර්ධනගේ මාලිගය රිච්මන්ඩ් කාසල් නම් වේ. එය කළුතර පලාතොට අක්කර 42ක භූමිභාගයක ඉදිකොට තිබේ. වර්තමානයේ ශ්‍රී ලංකාවේ මහා භාරකරුගේ පාලනයේ පවතී.
ඉතිහාසය
ආතර් ද සිල්වා වරක් ඉන්දියාවේ සිදුකල සංචාරයකදී දුටු මහාරාජා මන්දිරයක් පිළිබඳව සිත් ඇතිවීම මෙම මන්දිරය ඉදිකිරීමට හේතු පාදක වී යැයි තොරතුරු සඳහන් වේ. ඒ අනූව ඉදිකරනු ලැබූ රිච්මන්ඩ් කාසල් මැදුරෙහි ගෙවැදීම, ආතර් ද සිල්වා විසින් 1910 වර්ෂයේ මැයි 10 වන දින පැවැත්වූ සිය විවාහ මංගල්‍යය සමගම සිදුකරන ලදී.
එතැන් පටන් වර්ෂ 31ක් දරුවන් නොමැතිව සිය මැතිණියද සමග රිච්මන්ඩ් කාසල් හී දිවි ගෙවූ ආතර් ද සිල්වා, කිසියම් හේතුවක් මත 1941 ජූලි මස 4 වැනි දිනදී නොතාරිස් එස්. ජේ. එස්. කදිරගාමර් ඉදිරිපිටදී අත්සන් කොට, රිච්මන්ඩ් කාසල් ඇතුළු තමා සතු සියළු වත්කම් ශ්‍රී ලංකාවේ මහා භාරකාර දෙපාර්තමේන්තුවට පවරා දෙන ලදී. ඒ මෙම මන්දිරය ඔහුගේ ඇවෑමෙන් අනතුරුව අනාථ දරුවන් වෙනුවෙන් රැකවරණය සළසන ස්ථානයක් බවට සහ අනෙකුත් වතුපිටි වල ආදායම එම දරුවන්ගේ නඩත්තුව වෙනුවෙන් වෙන්විය යුතු බවට අවසන් කැමැත්ත ප්‍රකාශ වන පරිදිය.
ගෘහය
රිච්මන්ඩ් මැදුරෙහි ඉදිකිරීම් වෙනුවෙන් අමුද්‍රව්‍ය සමහරක් විදේශ රාජ්‍යයන්ගෙන් රැගෙන ආ බව පැවසෙයි. මැදුරට අවශ්‍ය ගඩොල් හා උළු ඉන්දියාවෙන්ද, තේක්ක හා ඕක් දැව බුරුමයෙන්ද, ජනෙල් වීදුරු ආදිය ඉතාලියෙන් හා නාන කාමර හා ගෙබිම මැටි පුවරු එංගලන්තයෙන්ද ගෙන්වා ගත් බව සඳහන් වේ. මෙම අමුද්‍රව්‍ය කොළඹ වරායේ සිට කළුතරට නැව් මගිනුත්, එතැන් සිට කළු ගඟ ඔස්සේ බත්තල් මඟිනුත් මන්දිරය ඉදි වන භූමිය වෙත ගෙන එනු ලැබ තිබේ.
ගෘහයෙහි වූ සම්පූර්ණ උළුවහු ප්‍රමාණය 99 ක් වේ. ජනෙල් ප්‍රමාණය 38 කි. පහත මාලයේ හා උඩු මහලේ වූ කාමර ප්‍රමාණය 14 කි. ඉන් බිම් මහලේ කාමර 5ක්ද, කන්තෝරු කාමර 2ක්ද, පින්තූර කාමරයක් හා නැටුම් ශාලාවක් වේ. මීට අමතරව පෝටිකෝවක්, බැල්කනියක්, මැද සාලයක් හා මැද මිදුලක් එහි දැකගත හැකි වේ. උඩුමහලේ කාමර 6ක්, නාන කාමර සහිත වැසිකිලි 4ක්, බැල්කනියක් හා තවත් එක් හිස් අවකාශයක් වේ.
උඩු මහලට නැගීම වෙනුවෙන් තරප්පු පේලි දෙකක් තිබෙන අතර ඉන් එකක් සේවකයින්ගේ භාවිතය පිණිස ඉදිකොට තිබේ. උඩුමහලට නගින තරප්පු පෙල මදක් ඉහලට වන්නට කොටසේදී, දෙපසට බෙදී යන අයුරින් තනා තිබේ. නිදන කාමරයන්හී බිත්ති, ශබ්ද පිටතට හා ඇතුලතට ගලා ඒම වැළකෙන පරිදි ඉදි කොට තිබේ. බිත්තියක් අඩියකට වඩා පළල් වන අතර එහි මධ්‍යයේ හිස් අවකාෂයක් රැඳෙන පරිදි ලෑලි කූඩුවක් සකස් කොට ඒ මත බදාම යොදා ඇත.
උද්‍යානය
රිච්මන්ඩ් කාසල් උද්‍යානයෙහි නිමවන ලද පොකුණක් දැක ගත හැකි වන අතර බිත්ති වලට සවිකොට ඇති සිංහ මුහුණු මගින් පොකුණට ජලය ගලා එන ආකාරයට එය නිමවා තිබේ. එසේම ග්‍රීක කැටයම් ශිල්පයට සමාන වූ කිරිගරුඩෙන් නෙලන ලද ප්‍රථිමා දොළහක් සහ, මුදලිගේ නිදන කාමරයට මුහුණලා කුඩා දරුවන් සත් දෙනෙකුගේ හා එය මධ්‍යයේ දරුවක නලවන මවකගේ ප්‍රථිමා මෙම උද්‍යානයෙහි දැකගත හැකිවේ.
වත්මන
වර්ථමානයේ මෙහි රිච්මන්ඞ් කාසල් පූර්ව ළමා විය සංවර්ධන මධ්‍යස්ථානයක් හා පිරිමි ළමයින් සඳහා රැක බලා ගැනීමේ මධ්‍යස්ථානයක් වේ.
(විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්)
Toggle Content goes here
වස්කඩුව
කළුතර දිසාවේ ඓතිහාසික ගමක් වූ වස්කඩුව බෞද්ධ හා ජාතික පුනර්ජීවන ව්‍යාපාරයේ ආරම්භක මධ්‍යස්ථානයක් වශයෙන් සුප්‍රකටය. 19 වන සියවසෙහි ව්‍යාප්ත වූ වෙස්ලියන් මිෂනාරි ව්‍යාපාරයට අභියෝගාත්මකව පෙළ ගැසුණු බෞද්ධ යතිවරුන්ගේ කේන්ද්‍රස්ථානයක් වූයේ ද වස්කඩුව ගම් පෙදෙසය .සුභූති මාහිමිපාණන් ජන්මලාභය ලැබූවේ මේ සුන්දර ගම් පෙදෙසෙහිය.
ස්වභාවික මෙන්ම ඓතිහාසික සිදුවීම් ගැන සොයා බැලීමේදී වැදගත් කරුණක් වූයේ ශ්‍රී සුභුති විහාරයයි.එහි වැඩමවා සිටි ශ්‍රී සුභුති හාමුදුරුවන් සුවිශේෂ භික්ෂුන් වහන්සේ නමකි.තායිලන්ත රජ කුමාරයා සසුන් ගත වු ස්ථානයද වස්කඩුවේ ශ්‍රී සුභුති විහාරය වීමද ඓතිහාසික වැදගත් කමක් ගනී.
බස්නාහිර පළාතේ කළුතර දිස්ත්‍රික්කයේ මුහුදුබඩ සීමාව මායිම් කොට ගත් ප්‍රදේශය වස්කඩුව නම් භූමියයි. ඉතා විශාල බට කැලෑවක් වූ මෙම ප්‍රදේශය පසු කාලීනව එම බට ගස් මගින් තැනු බට නලා වලින් නැගුණු රාවය වස් දඬුරාවය විය. එම වස් දඬුරාවය පසු කාලීනව වස්කඩුව බවට පත් වූ බව පැරැණ්නන් විසින් පවසයි.
අනුරාධපුර ජය සිරි මහා බෝ සමිඳුන් හැරුණු විට දිනපතා බොහෝ දෙනෙකුගේ ගෞරව පූජා නමස්කාරයට පාත්‍ර වූ බෝධි වෘක්ෂයක් ඇත්නම් ඒ කළුතර බෝ සමිඳුය. එමෙන්ම කළුතර බෝධීන් වහන්සේ අවටින් ගලා බසිනා ප්‍රධාන ගංගා වලින් එකක් වන කළු ගඟ පිහිටා තිබීම ඉතාමත් වැදගත් වේ. ස්වාභාවික සම්පත් අතින්ද මෙම ප්‍රදේශය ඉතා වැදගත් වී ඇත. එනම් කිරි මැටි නිධි මෙම ප්‍රදේශයේ තිබිම නිසාය. මෙම කිරි මැටි වලින් කර්මාන්ත කරන්නන් ඒ සදහා විශාල ලෙස යොමු වී තිබිම ඊට හේතු වේ. එමෙන්ම මැංගුස් නම කියන ඕනෑම කෙනෙකුට මතක්වන නගරය කළුතරයි.
වස්කඩුව ප්‍රදේශයට පෘතුගීසින්ගෙන් ලත් දායාදයකි රා කර්මාන්තය.මෙම කර්මාන්තය ග්‍රාමීය ජනතාවගේ ජීවන උපාය දියුණූ කර ගැනීමට රැකුලක් වී ඇත.
වස්කඩුව රාජගුරු ශ්‍රී සුභූති විහාරස්ථානය
වස්කඩුව රාජගුරු ශ්‍රී සුභූති මහානායක ස්වාමීන් වහන්සේට ලැබුණු උත්තම කපිල වස්තු ශ්‍රී සර්වඥධාතූන් වහන්සේලා උන් වහන්සේගෙන් පසුව වස්කඩුවේ වාචිස්සර, වස්කඩුවේ සීලවංශ යන නාහිමිවරුන්ගේ භාරකාරත්වය යටතේ තිබී ඉන්පසුව වර්තමානයේදී කොටහේන දීපදුප්තමාරාම තායි රජ මහ විහාරය හා වස්කඩුව රාජගුරු හ්‍රී සුභූති විහාරය ඇතුළු විහාර ගණයේ අධිපති අමරපුර ශ්‍රී සම්බුද්ධ ශාසනෝදය මහා සංඝ සභාවේ අතිගරු මහා නායක ශාස්ත්‍රපති වස්කඩුවේ මහින්ද වංශ මහා නාහිමියන්ගේ භාරකාරත්වයට පත්ව ඇත. වර්තමාන මහා නාහිමියන්ගේ අනුශාසකත්වයෙන් වස්කඩුව ශ්‍රී සුභූති මහානායකහිමියන් වැඩ විසූ වස්කඩුවේ අභිනවාරාමය (වර්තමාන රාජගුරු ශ්‍රී සුභූති විහාරය) විහාරස්ථානයකට අවශ්‍ය සියළු අංගෝපාංගයන්ගෙන් සම්පූර්ණව දෙස් විදෙස් බෞද්ධ ජනයාගේ ඉමහත් ගෞරවාදරයට පාත්‍ර විහාරස්ථානයක් බවට පත් වෙමින්, ශාසනික දියුණුව වෙනුවෙන් උදාර මෙහෙවරක් සිදු කරන ස්ථානයක් බවට පත්වී ඇත.
රාජගුරු ශ්‍රී සුභූති මහානායක ස්වාමීන් වහන්සේ (1835 -1917) ලාංකීය ශාසන ඉතිහාසයේ වැඩ සිටි ශ්‍රේෂ්ඨ යථිවරයානන් වහන්සේ නමක් වන්නාහ. 19 වන සියවසේ පාලි භාෂාව සහ බුද්ධ ධර්මය සම්බන්ධව නොමද ගෞරවාදරයට පාත්‍ර වූ උන්හන්සේ ගේ නාමය ලාංකීය ඉතිහාසයේ කරුණු කිහිපයක් නිසා රන් අකුරින් ලියවී ඇත. උන් වහන්සේ , යටත් විජිත පාලනය නිසා මෙරට ප්‍රාචීන අධ්‍යාපනය බිඳ වැටී තිබූ යුගයක, එම අධ්‍යාපනය නැවත නගා සිටු වීමට පුරෝගාමී මෙහෙවරක් ඉටු කළ අතර, ග්‍රන්ථ රචකයෙකු හා සංස්කාරකවරයෙකු ලෙසද දෙස් විදෙස් බුද්ධිමතුන්ට ශාස්ත්‍ර ඥාණය ලබා දුන් ගුරුවරයෙකු වශයෙන්ද, පැල්මඩුල්ල ත්‍රිපිටක සංගායනාවට සම්බන්ධවූ සංගීතිකාරක මහ තෙර නමක් වශයෙන් ද වැදගත් මෙහෙවරක් ඉටු කළ අතර, උන් වහන්සේගේ ජීවිත කාලය තුල සිදුවූ ශ්‍රේෂඨතම ශාසනික ක්‍රියාව නම් තම ඥාණ ශක්තිය වැය කරමින් මහත්වූ ධෛර්යයෙන් යුක්තව බුදුන් වහන්සේගේ නිසැක උත්තම ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේලා 21 නමක් මෙරටට වැඩමවා ගෙන ශ්‍රී ලංකා භූමිය තවත් පුණ්‍යවන්ත කිරීමයි.
බුදුන් වහන්සේ කුසිනාරා නුවර මල්ල රජ දරුවන්ගේ උපවර්තන නම් සල් උයනේ පිරි නිවන් පෑමෙන් අනතුරුව ආදාහනය කොට සත් දිනකට පසු ධාතු බෙදීම සිදුවිය.
(මූලාශ්‍රය – සම්පත් පැතිකඩ, කළුතර ප්‍රාදේශීය ලේකම් කාර්යාලය)
ගම් නිර්මාණය වීම
කළුතර ප්‍රදේශයේ රජ දවස සිට ආරම්භ වූ ග්‍රාම නිර්මාණයන් පිළිබඳ ජනශ්‍රැති සහ ජන කථා ඇසුරින් තවමත් ජනයා අතර මතකයන් පවතී. ඒ අනුව ගම් කිහිපයක් නිර්මාණය වීම පිළිබඳ තොරතුරු මෙසේය.
මැස්ටිය
ලන්දේසි සමයේ බණ්ඩාරවත්තඉඩමේ පැරණි දේවාලයක් නටබුන් අතරින් එහි වැඩ විසූ දෙවියන්ගේ යෂ්ටිය (සැරයටිය) හමු වී ඇත.දෙවියන්ට මුරු යන නාමය සමාන වූ බැවින් මුරු + යෂ්ටිය මැස්ටිය බවට පත්වී ඇති බව ජනප්‍රවාදයේ පවතී.
ගෝනදූව
නිතර ජලයෙන් පිරුණ වෙල් යායකින් වටවූ දූපතක ස්වරූපය ගත් කුඩා ගෝනදූව, ගෝනකු මුණ ගැසීම නිසා නිර්මාණය වීමට හේතු සාධක වී ඇත. මෙම ප්‍රදේශය මහ ගෝනදූව, කුඩා ගෝන දූව නමින් වර්තමානයේ හැඳින්වේ.
මැලෑගම
6 වන බුවනෙකබාහු රජතුමාගේ කාලයෙහි සොලී රටින් පැමිණි මල්ලව පොර ශූරයින් සමග පැවති තරඟයකින් ඔහු පරාජයට පත්කිරීම අනුරාධපුර ප්‍රදේශයේ පදිංචි කළු ගැටයා නම් පුද්ගලයෙක් සමත් වී ඇත. ඔහු සොයුරියන් දෙදෙනෙකු සමගින් රජතුමා හමු වූ අවස්ථාවේදී තමාට කැමති දෙයක් ඉල්ලන ලෙස රජතුමා ඔහුට ප්‍රකාශ කළ ද, ඔහු කිසිවක් ඉල්ලා නොසිටියේය. ඔහුගේ එක් සොයුරියක් වන බුවනේෂ්වරී තම වාසය සඳහා ඉඩම් කැබැල්ලක් ලබා දෙන ලෙස ඉල්ලා ඇත. ඒ අනුව ප්‍රදේශයෙන් 65 අමුණක භූමි භාගයක් රජතුමා විසින් ප්‍රදානය කර ඇත. එතැන් පටන් එම ප්‍රදේශය මයිලනුවන්ගේ ගම, මැලෑගම ලෙස හැඳින්වේ.
මහරැක්ම ග්‍රාමය පිළිබඳ ඓතිහාසික පසුබිමක් නිර්මානය නොවුනද ග්‍රාමයේ නම නිර්මාණය වීම සඳහා ගෝනකු පිළිබඳ කථා පුවතක් ගෙතී ඇත. ඒ අනුව ගෝනකු අල්ලා ගැනීම සඳහා විශාල රැක්මක් යොදා ඇති බවත් පසු කාලීනව එය මහරැක්ම ලෙස හඳුනා ගත් බවත් ජනප්‍රවාදයේ සඳහන් වේ. මෙම ගම තුල ගොවිතැන මුල්වූ ආර්ථික රටාවක් පවතින අතර කීර වගාව ද සිදු කෙරේ. මෙම ගම වාද්දුව ග්‍රාමය තුල කළුතරට උතුරු දෙසින් පිහිටා ඇත.
මාවල
16 වන සියවසේ රයිගම් කෝරළයේ සිට අතීතට නෑකම් කියන මේ ගම මාවල ග්‍රාමයයි. මහ වලක් හෙවත් මහ කැලයක් තිබීම නිසා මාවල ලෙස හඳුනා ගෙන ඇති බවත් වර්තමානයේදී මාවල, මාවල දකුණ ලෙස පරිපාලන පහසුව සඳහා වෙන් කර ගෙන ඇති බවත් සඳහන් වේ. එකම ආගමික ස්ථානය වූ කොරොස්දූව පුරාණ විහාරය රයිගම් රාජධානිය කර ගෙන විසූ රයිගම් බණ්ඩාර රජුගේ රාජ්‍ය සමයේ නිර්මාණය වී ඇත. රජුගේ සංචාරක මාළිගාවක් ගම තුල පිහිටා තිබූ බවත්, රජු මුව දෝවනය සඳහා භාවිතා කළ රන් කොරහ විහාරස්ථානයට සමීප අළුත් ඇල ආශ්‍රිතව භූමි භාගයක නිධන් කර ඇති බවත් එය කෙරොස්දූව නමින් ප්‍රකට වූ බවත් ජනප්‍රවාදයේ පවතී. මෙම විහාරස්ථානයේ ප්‍රසිද්ධ ස්වාමීන් වහන්සේලා වැඩ විසූහ. වසර 175 ට අධික ඉතිහාසයකට නෑකම් කියන මෙම ප්‍රදේශය කළුතරට උතුරු දෙසින් පිහිටා ඇති අතර මාවල දකුණ ලෙස හැඳින්වේ.
මාවල දකුණ හා මාවල ලෙස පරිපාලන පහසුව සඳහා වෙන් කොට ඇති මෙම ප්‍රදේශයේ මාවල නිර්මාණය වීම ඉහත සඳහන් කළ පරිදිවේ. මෙම ප්‍රදේශයද ඓතිහාසික පසුබිමක් ඇත. 1916 දී පමණ ආරම්භ කරන ලද සුඛිශුද්ධාරාම විහාරස්ථානයේ විශ්ණු දේවාලය හා භද්‍රකාලී දේවාලය ඉතා පැරණිය. මෙහි වාර්ෂික දේවමඩු උත්සව පවත්වනු ලබයි.
මොරොන්තුඩුව
සිංහල රාජධානියේ සතුරු බලවේග මැඩ පැවැත්විම සඳහා මොරොන්තුඩුව ග්‍රාමය තුල මුර පොලවල් යොදා ඇත. එම ස්ථානය මුර කිරීමට මුරකරුවන් යොදා ඇති බවත්, ඔවුන් මුර කළ තැන මුරවුන්තුඩුව ලෙසද පසු කාලීනව මොරොන්තුඩුව ලෙස ද ව්‍යවහාර වී ඇත. විශාල භූමි ප්‍රමාණයකින් යුතු මෙම ප්‍රදේශය ස්වභාවික සෞන්දර්යකින් යුක්තය. ගොවිතැන් කටයුතු ද සිදු කෙරේ. කළුතර ට කි.මී.15 ක් පමණ ඇතින් පිහිටා ඇත.
පොහොද්දරමුල්ල
අතීතයේ එම ප්‍රදේශයේ පෙහොසත් දනන් වාසය කළ බවත් , ඒ අනුව පොහොසත් දනන් සිටි නිසා පෝසත් + දන + මුල්ල ලෙස වචනාර්ථ තුලින් ලබා ගත් එකතුවකින් පොහොද්දරමුල්ල වූ බවත් අනාවරණය වී ඇත.
මේ හැර තවත් ජනප්‍රවාදයක් පවතී. එනම්කුඩා ග්‍රාමයක්ව පවතින මෙය දේවානම්පියතිස්ස රජු සමයේ රෝපණය කරන ලද බෝධීන් වහන්සේ නමක් මුල් කර ගෙන, ගමට බෝඅද්දරමුල්ල වශයෙන් ව්‍යවහාර වී ඇත. පසු කාලීනව මේ ගම පොහොද්දරමුල්ල වශයෙන් හඳුන්වා ඇත.
පොතුපිටිය
ක්‍රි.ව.1415 පමණ ඈත අතීතයක් පැවති ගමක් ලෙස පොතුපිටිය නාමය රැඳී ඇත. කෝට්ටේ යුගයේ නිර්මාණය වූ පරෙවි, ගිරා, කෝකිල සංදේශ කාව්‍යන් මගින් පොතුපිටිය වර්ණනා කර ඇත.
පරෙවි සංදේශයෙන්….
කමින් තලා ගිනි මැලි සංගං නැටිය
ලවන් පැහැය කළ විලසින් ගුරු මැටිය
වසන් මුගුරු නොපහළ දණි තුඩ සිටිය
මෙවන් ගොපලු අඟනන් දකු පොතුපිටිය
කෝකිල සංදේශයෙන්….
දිගුරාවයෙන් නැගි තුඟු කුළු සැටිය
වගුරා ගත මූණ වැනි ගත ගුරු මැටිය
ගුගුරා පොරට තැන තැන ගව රළ පිටිය
ඉඳරා බලන් සබඳිනි සිට පොතුපිටිය
ගිරා සංදේශයෙන්….
කනලා උපුල් මල් ගවසා කෙස් වැටිය
බිඳලා පොකුරු කරලා මුතුහර සැටිය
බැඳලා ගමන් වෙත ගව පලු ලිය සිටිය
නොබලා මිතුර යාගන් මග පොතුපිටිය
සංදේශ කාව්‍ය කතුවරයා අලංකාර අලංකාර පොතුපිටියේ ගොපළු අඟනන්ගේ රූ සිරිය දැක ගමන් කරන ලෙස සඳහන් කර ඇත. සොබා සෞන්දර්යකින් යුක්ත මෙම ගම ආරම්භයේදී කවුඩුදූව ලෙස හඳුන්වා ඇත. ඕලන්ද සමයේ කුරුඳු වගා කළ බවත්, පරංගි සමයේදී පුලහිංගගේ පිලිප්පු අප්පුහාමි මුල් පදිංචිකරු ලෙස හඳුනාගෙන ඇති බවත් ජනප්‍රවාදයේ කියැවේ. පැරකුම් රජ සමයේ එතුමාගේ දේවපතිරාජ නම් ඇමතිවරයා විසින් අල්ලිය දේවාල විසි හතරක් කරවා ඇත. එබඳු ස්ථානයක් පොතුපිටිය ග්‍රාමය තුල පිහිටා ඇත. ඉපැරණි පාරම්පරික උරුමයන් එම අල්ලිය දේවාලය තුල ආරක්ෂා කරන බවත් මෙම ගම්වාසීහු පවසති. අවුරුදු චාරිත්‍ර, හිස තෙල් ගෑමේ මංගල්‍යය උත්සවාකාරයෙන් සිදු කරනු ලබන මෙම ගමේ උසම කැවුම සෑදීමට සමත් අය අදත් සිටී.
කලපුගම
පස්දුන් කෝරලයේ පිහිටා ඇති කලපුගම ග්‍රාම නිලධාරී වසම හෙක්ටයාර 800 ක පමණ භූමි භාගයකින් යුතුය. 1989 දී මෙය පරිපාලන පහසුව සඳහා කලපුගම නැගෙනහිර හා බටහිර වශයෙන් වෙන් කරන ලදී. මුඛ පරම්පරාගත තොරතුරු අනුව මෙම ග්‍රාමය නිර්මාණය වී ඇත්තේ කළු ගඟට සම්බන්ධ වූ විශාල කලපුවක් ආශ්‍රිතව ය. සාරා ද ෆොන්සේකා නමැති ළමා තැනී රයිගම්පුර රජවාසලට සම්බන්ධව කටයුතු කර ඇත. ඇය කෙරෙහි පැහැදුන රජතුමා, ඇයට කැමති දෙයක් ඉල්ලන ලෙස පැවසිය. ඒ අනුව ගමට නමක් ලබා දෙන ලෙස ඇය රජතුමාට පවසා ඇත. මෙලෙස මෙම ගමෙහි නම නිර්මාණය වී ඇති බව පැවසේ.
1960 දශකයේ පමණ ඈත අතීතයක් පවතින කලපුගම රයිගම් කෝරළයට අයත්ව පැවතුනි.මේ අවධියේ වෙළඳාම සඳහා කළු ගඟ වෙළඳ මාර්ගය බවට පත්විය.එකල ඔරු පාරු නැවතීමට තොටක් තිබූ බවත්, එහිදී භාණ්ඩ හුවමාරු වූ බවත් ප්‍රදේශවාසීන්ගේ මතකයේ රැඳී පවතී. කලපුගම නමැති මේ විශාල ගම කලමුල්ල, කොස්වැදේ, අල්විස්වත්ත, කජුදූවවත්ත, කරඳන්ගොඩ, කිතුල්ගහතුඩුව , බටහේන, හේන්පිටිය ආදී කුඩා ගම්වල එකතුවකි. මෙම ප්‍ර දේශයන් නිර්මාණය වී ඇත්තේ විවිධ කර්මාන්ත වල නිරත වී සිටි පුද්ගලයන් මෙන්ම භෝග වගාවන් අරමුණු කරගෙන බව පැවසේ. වී, රබර් ,පොල් වගාවන් මෙන්ම මැණික් කර්මාන්තයද මෙම ගම්වාසීන්ගේ ජීවන වෘත්තීන් අතර වේ.
දෙල්දූව
උතුරින් මොරොන්තුඩුව ගමත්, නැගෙනහිරින් කලපුගම හා පනාපිටිය ගමත්, දකුණින් වස්කඩුව හා නුගගොඩ ගමත්, බටහිරින් පොතුපිටිය හා මාවල ගමත්, මායිම් වූ දෙල්දූව ග්‍රාමය නිර්මාණය වී ඇත්තේ එකල දූවක්ව පැවති නිසාය. පොකුරු හැල් සහිත කුඹුරු හා ඇලක් ද මෙම ප්‍රදේශයේ පිහිටා ඇත. මෙම දූවේ විශාල වශයෙන් දෙල් තිබුණ බැවින් දෙල් දූව යන නම ලැබිණි.
අරියගම දෑවිරුගම සහ කෝපියාවත්ත
අක්කර 110 ක භූමි ප්‍රමාණයකින් යුතු විදේශීය කාන්තාවකට හිමි වූ ඉඩමක් 1872 වසරේ දී රජයට පවරා ගෙන ඇත. මේ සඳහා මූලිකව ක්‍රියා කළ අරියවංශාභිධාන ස්වාමීන් වහන්සේට කරන ලද කෘතගුණ සැලකීමක් ලෙස අරියගම නමින් මෙ ගම හඳුන්වයි.
1985 වසරේදී අරියගම උදාකළ ගම්මානයක් ලෙස ජනතාව අතරට පත්විය. අක්කර 5 ක ආයුර්වේද පැලෑටි සඳහා වෙන් කර ඇති භූමිය ආබාධිත රණවිරුවන් සඳහා ලබා දී ඇති නිසා දෑවිරුගම නමින් ද , අරියගමට අයත් අනිත් කොටසේ කෝපි වගාව බහුලව ඇති බැවින් කෝපියාවත්ත නමින් ද හැඳින්වේ. මෙම ප්‍ර දේශය ගම් තුනක එකතුවකින් නිර්මාණය වී ඇත.
වස්කඩුව
ස්වයං රැකියා වල නියුතු ජන කොට්ඨාශයක් වාසය කරන වස්කඩුව ග්‍රාමයේ වස්දඬු වලින් පිරි කැලයක් පැවති බවත්, වස්දඬු වලින් කඩු සාදා මුවහත් කර භාවිතා කර ඇති බැවින් වස්කඩුව නම් විය.මෙම ග්‍රාමය මහ වස්කඩුව, කුඩා වස්කඩුව ලෙස වෙන්වී පවතී. මෙහි වෙසෙන ජනතාව කොහු කර්මාන්තය, ධීවර කර්මාන්තය, රා මැදීම, සංචාරක කටයුතු යන ජීවනෝපායන්හි නිරත වී සිටිති.
පරදූව
කළුතර සිට කි.මී.11 ක පමණ දුරින් පිහිටි පරදූව ජනප්‍රවාදයේ එන පරිදි විශාල වශයෙන් පරෙවියන් වාසය කළ බැවින් පරදූව වශයෙන් හඳුන්වන ලදී.
දියගම
5 වන ශත වර්ෂයේ පමණ ලියන ලද ශිලා ලේඛණයක් දියගම පැළුණු ගල ආසන්නයේ පිහිටා තිබීම නිසා දියගම ඉතිහාසය පිළිබඳ තොරතුරු අනාවරණය වේ. නිතර දිය සීරාවෙන් යුතු නිසා ජල ගැලීම් වලට ලක්වූ ප්‍රදේශයක් නිසාත් දියගම නමින් හැඳින්වේ.
දෙදියවල
වර්ෂ 1864 පමණ ඈත අතීතයක් පවතින දෙදියවල පිළිබඳ තොරතුරු ඉපැරණිම විහාරස්ථානය හා බැඳුනු තොරතුරු මත පැහැදිලි වේ. එම ප්‍රදේශය දෙදියවල ලෙස හඳුන්වා ඇත්තේ කරදිය හා මිරිදිය යන නම් එකතු වීමෙන් බව පැරැණ්නන්ගේ අදහසයි. අතීතයේ සිට මේ දක්වා මැටි කර්මාන්තය සඳහා අමු ද්‍රව්‍ය සපයා ඇත්තේ දෙදියවල ග්‍රාමයෙනි.
උග්ගල්බඩ
උග්ගල්බඩ ගම මල්වත්ත, දූවෙගම, නැඳුන්ගස්හේන, ජාවත්ත, පින්නගොඩ, කපුහේන, පහළ මල්වත්ත, ඇඳිරිකැලය,කපුහේන යන ගම් මායිම්ව පවතී. උස් වූ ප්‍රදේශයක විශාල කළු ගල් පිහිටීමකින් යුක්ත මෙම ප්‍රදේශය උස්ගල්ගොඩ බවත්, පසුව උග්ගල්බඩ වූ බවත් පැරණි ගම්වාසීහු පවසති. උග්ගල්බඩ ප්‍රදේශයේ පිහිටි මල්වත්ත ඉංග්‍රීසි පාලන සමයේ මුල් අවධියේ සුදු මහතෙකු විසින් පවත්වා ගෙන යන ලද්දකි. මල්වත්ත යන නාමය නිර්මාණය වී ඇත්තේ එය මුල් කර ගෙනය. ඉපැරණි මල්වත්තේ රජ මහා විහාරය සහ දේවාලය 6 වන පරාක්‍රමබාහු රජ සමයේ ඉදි කර ඇති ඓතිහාසික වටිනාකමකින් යුත් පූජනීය ස්ථානයකි. මල් අස්නේ විහාරය හා පත්තිනි දේවාලය කෙරෙහි බැතිමතුන්ගේ ඉමහත් විශ්වාසයක් පවතී. සිංහල අවුරුදු උදාවත් සමගම මෙම ස්ථානයට පැමිණෙන බැතිමතුන් බුදුන් වැඳ ශ්‍රී විෂ්ණු දෙවියන් හා පත්තිනි දේවිය අභියස පූජා පවත්වා ආශීර්වාද ලබා ගැනීම පුරාණයේ සිට පැවත එන චාරිත්‍රයකි. එමගින් දුක් ගැහැට දුරු වී ශාන්තිය උදා වන බව ඔවුන්ගේ විශ්වාසයයි.
පලාතොට
කළුගඟ තොටුපල කෝට්ටේ යුගයේ පාලන සමය තුල වෙළඳ ආර්ථික ප්‍රවාහය සඳහා මුල් තැනක් විය. වෙළෙන්දෝ දෙස් විදෙස් වෙළඳාම පිණිස නැව් හා කුඩා බෝට්ටු මගින් තොටුපල වෙත ළඟා වූහ. කළු ගඟ අශ්‍රිතව පැවති මෙම තොටුපල ට පසු කාලීනව පලාතොට යන නාමය භාවිතා විය. තවද කාන්තාවක් හා පලා මිටියක් අතර බැඳුනු කථා පුවතක් තුළින් ද පලාතොට යන නාමය ලැබුණ බවද ගැමියන් ගේ මතයයි. මෙම ප්‍ර දේශය සශ්‍රිකත්වයෙන් යුක්තය.තම පැරණි ජීවන වෘත්තිය සුරකිමින් වර්ථමානයේද මෙම ප්‍රදේශයේදී උසස් අන්දමින් අළුත් සහල් මංගල්‍යය පවත් වනු ලබයි.
කලමුල්ල
පරෙවි සංදේශ කතුවරයා කලමුල්ල ගම අලංකාරවත්ව වර්ණනා කර ඇත. එය කුමරතුංග මුණිදාසයන්ගේ සංරක්ෂණ ග්‍රන්ථයේ 68 වන කවියේ මෙලෙස සඳහන් වේ.
එක සුරඟන පැහැසර රුසිරින් දුල්ල
එක හක බසින් වඩවන සැල එන් ලොල්ල
සත හක සෙකින් දිතු සරලම සිටි වැල්ල
දැක නොම ලෙස පරෙවිඳු සඳ කල මුල්ල
සුන්දර වූ කලමුල්ල දැක තම කාර්යය ඉටු කරන ලෙස පරෙවියාට තම කාර්යය ඉටු කරන ලෙස කතුවරයා පවසා ඇත.
කළුතර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය තුල ඉහත සඳහන් කළ ගම් නිර්මාණයන් පිළිබඳ තොරතුරු පොත පත ඇසුරෙන් හා ගම් වාසීන් ගෙන් ලබා ගත් ජනප්‍රවාදයන් ය.
(මූලාශ්‍රය – සංස්කෘතික සම්පත් පැතිකඩ)